si_uni  ta_uni
TamilEnglish

 


පාරිසරික හා සමාජ කළමනාකරණ සැළැස්ම   හරිත කාළගුණික අරමුදල

 

මුල් පිටුව All News රසදිය භාවිතයට නැවතීමේ තිත තබමු
රසදිය භාවිතයට නැවතීමේ තිත තබමු

alt

අප එදිනෙදා ජීවිතයේදී බහුලව භාවිතා කරනු ලබන දියරමය මුලද්‍රව්‍යයක් වන රසදියේ ඇති විෂ සහිත බව පිළිබඳව මෙතෙක් වැඩි අවධානයට ලක් නොවී තිබුනද වර්තමානයේ ඒ පිළිබඳව ජගත් අවධානය වැඩි වශයෙන් යොමුවී ඇත. ඈත අතීතයේදී මෙම මූලද්‍රව්‍ය වැඩි ආයුකාලයක් ළඟාකර දීමට මූලික සාධකයක් ලෙස සැලකුවද එහි  අතුරු විපාකයන් නිසා මිනිසුන්ට කායික හා මානසික ගැටලු පැන නැඟාය හැක.  දිගු කාලයක් තිස්සේ මෙසේ භාවිත වන මෙම ඩගත් දූෂ්‍ය කාරකයට එරෙහිව විසදුමක් සෙවීම සඳහා , ශ්‍රී ලංකාව , එක්සත්  ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ රසදිය පිළිබඳව නෛතිකව බැදුනු රටකි වශයෙන් (මෙය 2013 වසරේදී ක්‍රියාත්මක වීමට නියමිතය) ඉක්මන් කරමින් සිටී.

 

ඔබ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරනු ලබන උෂ්ණත්වමානය, සහ ඇතැම් පැරණි දත්ත පිරවුම් වල බැර ලෝහයක් වන රසදිය අඩංගුය. මෙය ආශ්වාස ප්‍රශ්වාසයෙන් , සෘජුවම ආහාරයට ගැනීමෙන් හෝ සමේ ස්පර්ශ වීම මගින් සිරුරට ඇතුල් විය හැක. මෙය සිරුර තුල එක් රැස් වීමෙන් කල් ගත වීමේදි දරුණු ලෙඩ රෝග ඇතිවීම හෝ මරණය වුවද සිදුවිය හැක. මෙහි බලපෑම් ලෙස හිසරදය ඇතිවීම හෝ රසදිය වාෂ්ප නිසා දිගු කාලීන මානසික ගැටලු වැනි හානිකර බලපෑම් ඇතිවිය හැක. ඇතැම් රැකියාවල ස්වභාවය අනුව ඒවායේ නිරත වන්නන්ට නිරතුරුවම රසදිය භාවිතා කිරීමට සිදුවේ. මොවුන්ගේ ඇතැම් අසාමාන්‍ය හැසිරීම නිසා සමාජයේ අන් අයගෙන් වෙන්කර හදුනා ගත හැක. ඇලිස් ඉන් වොන්ඩලන්ඩ් (Alice in Wonderland) කාථාවේ එන මෑඩ් හැටර් (Mad Hatter) චරිතය හා පාසැල් වල දන්ත කටයුතු ආශ්‍රිතයව සේවය කරන සේවකයින්  උදාහරණයක් ලෙස ගත හැක. එසේම රත්තරන්, රිදී කැණීම් සඳහා එම පතල් වල සේවය කරන සේවකයින්, අශුද්ධ ලෝහ වලින් රන්, රිදී  වෙන් කිරීමේදී රසදිය වලට නිරාවරණය විය හැක. (මූලාශ්‍රය : IPEN – An Introduction to Mercury Pollution, 2010)

රසදිය විවිධ ආකාර වලින් ස්වභාවිකව හමුවේ. එනම් මූලද්‍රව්‍යමය රසදිය සංයෝග හා කාබනික රසදිය (මෙතිල් මර්කරි මෙම කාණ්ඩයට අයත් සුලභතම වර්ගය වේ.) ලෙසටය. වායු ගෝලයේ හමුවන මුලද්‍රව්‍යමය රසදිය , ජලජ පරිසරවල ජීවත් වන බැක්ටීරියාවන් විසින් ලබා ගෙන ඒවා තැන්පත් කර ගන්නා අතර, මොවුන් එම මූලද්‍රව්‍යමය රසදිය මෙතිල් මර්කරි බවට පරිවර්තනය කරයි. පසුව ඒවා ජෛව එක්රැස්වීමකට ලක්වන අතර , ආහාර දාම හරහා යෑමේදි ජෛව ගුණනය වීමත් සිදුවේ. ජෛව දේහ අතරින් අනෙකුත් සත්ව ආකාර වලට වඩා මිනිස් සිරුර තුල රසදිය වඩාත් හානිකර බලපෑම් ඇතිකරයි. රසදිය මිනිස් සිරුර තුලට ඇතුල් විය හැකි තවත් ආකාරයක් නම් ජලජ පරිසර වල ජීවත් වන ජෛව දේහ ආහාරයට ගැනීමයි. අප එදිනෙදා ආහාරයට ගන්නා මුහුදු ආහාර ඛණිජ ලවණ වලින් පොහොසත් වන්නා සේම, කලක් තිස්සේ ශරීරගතව, ජෛව ගුණනයට ලක්වු රසදිය වලින්ද සමන්විත වේ. 1965 වර්ෂයේ ජපානයේ මිනමාටා ප්‍රදේශයේ, මෙසේ මුහුදු ආහාර වල එක්රැස්ව තිබු මෙතිල් මර්කරි විෂවීම නිසා මිනිසුන් 1784ක් පමණ මියගිය අතර මෙය මිනමාටා රෝගය ලෙස හදුන්වා දෙන ලදී. මෙම සිද්ධියෙන් පසුව රසදිය විෂවීම සම්බන්ධව ජගත් අවධානය වැඩි වශයෙන් යොමුවිය .(මූලාශ්‍රය: UNEP – The Mercury Issue, 2008)

රසදිය වැනි බැර ලෝහ විෂ කාරකයන්ගේ ඇති ප්‍රධාන ගැටලුව නම්, ඒවා ශරීරගත වූ විට, සිරුර තුල රැදී පවතිමින් කාලයක් තිස්සේ වර්ධනය වීමයි. මෙය ප්‍රධාන වශයෙන්ම මත්ස්‍යයින් හා මුහුදු ආහාර වල සිදුවන අතර, මේවා පරිභෝජනය මගින් මිනිස් සිරුරට ඇතුල්වීම සිදු වේ. කාලයත් සමඟ ඇතැම් රසදිය සංයෝග සිරුරින් ඉවත්වීමක් සිදු නොවන අතර, මොළය, ස්නායු, මාංශ පේශී, තෛරොයිඩ් ග්‍රන්ථි, වකුගඩු, පෙනහලු හා ඇස් වල තැන්පත් වන්නාවු රසදිය සාර්ථක ලෙස සිරුරින් ඉවත් කර ගත හැකි ක්‍රමවේද පිළිබඳ පර්යේෂණ තවදුරටත් සිදු කිරීමට අවශ්‍යය. එබැවින් ඔබ ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න! (මූලාශ්‍රය: IPEN – An Introduction to Mercury Pollution, 2010)

රසදිය විෂවීම සිදුවිය හැකි  තවත් ආකාරයක් නම් එය සෘජුවම සම හා ස්පර්ෂ වීමයි. එසේ සිදුවිය හැක්කේ එය කෙලින්ම සම හා ස්පර්ෂ වීම හෝ සම පැහැපත් කිරීමට ගන්නා ක්‍රීම් වර්ග, ආලේපන හෝ ගෘහාශ්‍රිතව සකසා ගන්නා ශාකසාර ඹෟෂධ වල රසදිය තිබිමෙනි. තයෝමර්සැල් (Thiomersal) යන වෙළද නාමයෙන් හදුන්වන මර්තයොලේට් සංයෝගය ප්‍රති-දිලීරයක් හා විෂබීජ නාශකයක් ලෙස ක්‍රියාකරන නමුත් එහි රසදිය අඩංගු වේ.

ගර්භනී තත්වයේ පසුවන කාන්තාවන්ට මෙම තත්වය භයානක ලෙස බලපෑම් ඇති කළ හැක. එනම් කුස තුල සිටින දරුවාට ජලය, ආහාර  හෝ ආලේපන හරහා රසදිය ඇතුලු වුවහොත් දරුවාගේ ස්නායු පද්ධතිය නැවත ප්‍රකෘති කළ නොහැකි අන්දමට විනාශ විය හැක. (මූලාශ්‍රය: IPEN – An Introduction to Mercury Pollution, 2010)

හිසරදය හා සිහිමද භාවය හැරුණු විට, රසදිය අඩංගු සංයෝග ශරීරගත වීමනිසා ඇතිවන අනෙක් ප්‍රධානතම අතුරු ඵලයක් නම් චාලක සම්බන්ධීකරණය නොමැති වී යෑමයි. රසදිය විෂවීම නිසා ඇතිවිය හැකි බලපෑම් කම්පනය, අමතකවීම් තත්වයන් ඇතිවීම සිට නින්දට බාධා ඇතිවීම දක්වා වෙනස් විය හැක. දැඩි ලෙසම රසදිය ශරීරගත වීම නිසා පපුවේ වේදනාව, කැස්ස වැනි කායික ආබාධ මෙන්ම භ්‍රාන්තිය හා සියදිවි නසා ගැනීමේ හැකියාව ඇත. එසේම දිගු කාලයක් තිස්සේ මද වශයෙන් රසදිය ශරීරගත වීම නිසා වුවද විඩාව, අමතකවීම, විෂාදය වැනි තත්වයන් ඇති විය හැක.

රසදිය විෂවීමෙන් ආරක්ෂා වීමට ගතහැකි පළමු පියවර නම් ඔබ එදිනෙදා භාවිතා කරන නිෂ්පාදනවල රසදිය තිබේදැයි යන්න පිළිබඳව සැලකිලිමත් වීමත්, රසදිය අඩංගු නොවන නිෂපාදන තෝරා ගැනීමට කටයුතු කිරීමත්ය. කෙසේ වෙතත් රසදිය අඩංගු නොවන නිෂ්පාදනයක් සපයා ගැනීමට අපහසු අවස්ථාවකදී, ඔබ භාවිතා කළ නිෂ්පාදනය ආරක්ෂාකාරී ලෙස පැහැරකරලීමට සැලකිලිමත් විය යුතුය.

 තත්වය මෙසේ වුවද විශ්මයජනක කරුණ නම් බොහොමයක් සුලභව හමුවන නිෂ්පාදන, එනම් තීන්ත උෂ්ණත්වමාන, උෂ්ණත්ව පාලක, බැටරි, ඉලෙක්ට්‍රොනික ස්විච, අතේ ගෙනයා හැකි ගනක යන්ත්‍ර, කැතෝඩ කිරන නල(CRT) හා විෂබීජ නාශක ආදියෙහි රසදිය අඩංගු වීමයි. එබැවින් මෙම නිෂ්පාදන බැහැර කරලීමේදී යම් හෙයකින් රසදිය කාන්දු වූවොත් ඒවා පිටතට ඒම වැලැක්වීමට , ඒවා ආරක්ෂිත ලෙස ආවරණය කර බැහැර කිරීම හා ඒවා සාමාන්‍ය අපද්‍රව්‍ය ආකාරයට නොව විෂ ද්‍රව්‍ය ආකාරයට ආරක්ෂිතව බැහැර කර කුඩා දරුවන්ගෙන් හා අනෙකුත් අයගෙන් වෙන්කර තැබීම වැදගත්ය. කෙසේ වෙතත්, ඔබ මෙම ලිපිය කියවීමට යොදාගන්නේ රසදිය මත පදනම් වූ ප්‍රතිදීප්ත බල්බයක් හෝ වෙනත් රසදිය අඩංගු ආලෝක ප්‍රභවයක් නම් ඒවා බැහැර කරලන අවස්ථාවේදී ආරක්ෂාකාරී ලෙස සිදුකිරීම මඟින්, පරිසරයෙන් එම විෂද්‍රව්‍ය ඉවත් කරලීමට වගබලා ගැනීම අතිශය වැදගත්ය.

යම් හෙයකින් ද්‍රවමය රසදිය කාන්දුවීමක් හෝ ඉහිරීමක් වුවහොත් එය ඉවත් කිරීම, රසදිය ස්පර්ශ කිරීමක් සිදු නොකළ යුතු අතරට ඒවා කිසියම් අවශෝෂක ද්‍රව්‍යයක් හෝ ඇදුමක් මතට පතිත වුවහොත්, එම දෑ භාවිතයෙන් ඉවත් කිරීමට තරයේ වගබලා ගත යුතුය. එයට හේතුව නම් එබදු ඇදුමක් සේදීම කළද, එහි ඇති රසදිය සම්පූර්ණයෙන් ඉවත් වූයේදැයි තහවුරු කිරීමට නොහැකි බැවිනි. රසදිය දහනය කිරීමට ලක් කලොත් එහි වාෂ්ප ආඝ්‍රාණය වන බැවින් ඒවා අඩංගු කිසිවක් පිලිස්සීම සිදු නොකළ යුතුය. රසදිය අඩංගු පරිගනක කොටස්, විදුලි උපකරණ හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය දහනයේදීද එහි ඇති රසදිය ආශ්වාසය මගින් සිරුරට ඇතුලු විය හැකි ආකාරයට පරිවර්තනය විය හැක. එසේම පුද්ගලයෙකුගේ සිරුර තුල කලක් තිස්සේ එක් රැස්වී තිබු රසදිය ඔහු මියගිය විට ආදාහනය කිරීමේදි වායුගෝලයට මුසු වනු ඇත.

එබැවින් රසදිය අඩංගු දෑ ඔබ වෙත පැමිණිය හැකි ආකාරයන් ගැන සැලකිලිමත් වෙමින්, ඒවා ආරක්ෂාකාරී ලෙස බැහැර කරලීමට කටයුතු කිරීම මගින් ඔබගේ සහ ඔබගේ පවුලේ මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවේම සුභ සිද්ධිය සඳහා හේතු වන අතර , මෙරට රසදිය දූෂක වලට එරෙහිව කටයුතු කරන ප්‍රමුඛම දේශයක් වීමටද උපකාරී වනු ඇත. තවද රසදිය දූෂක වලට එරෙහිව සටන් කිරීම මගින් ඔබ ලෝකයේ දැනට පවත්නා ප්‍රධාන සෞඛ්‍ය තර්ජනයක් දුරලීමට සහයෝගය දක්වන්නා මෙන්ම ඔබ පමණක් නොව සමස්ථ ලෝකවාසී මිලියන ගණනක ජනතාවක්ද බේරා ගැනීමට මහඟු මෙහෙයක් ඉටු කළා වනු නොඅනුමානය.

 

සැකසුම: වායු සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා අංශය / පරිසර අමාත්‍යාංශය  

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2012 සැප්තැම්බර් 18 වෙනි අඟහරුවාදා, 11:03